Home / රූපලාවන්‍ය / පූර්ණ රූප සොබාවක් ලබා ගැනීමට

පූර්ණ රූප සොබාවක් ලබා ගැනීමට

2019-07-29 10:35:00       753
feature-top
අතීතයේ අපේ වැඩිහිටියන් කාන්තාවකගේ රූසපුව වර්ණනා කළේ පුන් පියයුරු, පුළුල් උකුල, නීලවර්ණ හිස කෙස්, නාදලූවන් දෙතොල් ලෙසිනි. පිරිමියකුගේ රූසපුව ගැන පැවසුවේ ශක්තිමත් බාහු හැඩි දැඩි සිරුර ලෙසිනි. මේ රූසපුව හිමි වන්නේ නිරෝගී අයෙකුටය. නමුත් වර්තමානයේ රූසපුව වර්ණනා කරන්නේ බාහිර ආලේප තැවරූ ප‍්‍රමාණය අනුවය.
 
 වෛද්‍යතුමනි සෘෂි නාඩි වෛද්‍යවරුන් කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ රූසපුව ගැන පවසා ඇත්තේ කෙසේද?
 
 දිස්මත කෛනාද මනුස්සා. කායික භාගා, ජව සම්පන්න භාගා, රූප සෝභා භාගා, මානසික භාගා, ශක්තිමත් භාගා පූර්ණ මනුස්සා.... ලෙසින් චාංගී නමැති මහා සෘෂි නාඩි උත්තමයන් සඳහන් කර තිබෙනවා.
 
 ඉන් පවසා ඇත්තේ කාන්තාවකගේ සහ පිරිමියකුගේ පරිපූර්ණ බව හඳුනා ගන්නේ ඔවුන්ගේ ශාරීරික නිරෝගී බව, ඉන්ද්‍රිය කි‍්‍රයාකාරිත්වයේ නිරෝගී බව, පැහැපත් බව මනසින් සැහැල්ලූ බව සහ කි‍්‍රයාශීලී බව යන කරුණු පහ පදනම් කරගෙන බවය.
 
 මෙම පරිපූර්ණ කාන්තාවන්ට සහ පිරිමින්ට දරුවන් හදා තම පරපුර ඉදිරියට රැගෙන යෑමේ හැකියාව තිබේ. ඒ සඳහා ඔවුන්ගේ ප‍්‍රජනන පද්ධතිය හොඳින් කි‍්‍රයාකාරීව පවතී. හෘද රෝග, අධි රුධිර පීඩනය, දියවැඩියාව, හන්දිපත් අමාරු ආදී රෝග නැහැ. අලස බව නැහැ. ඉක්මන් කෝපය මතු වන්නේ නැහැ. අන් අය ආකර්ෂණය කරගත හැකි දේහ ලක්ෂණ පවතී. මෙවැනි රූසපුවක් ඇති කර ගැනීම සඳහා තමයි චාංගී සෘෂි නාඩි උත්තමයන් උපදෙස් ලබා දුන්නෙ.
 
 මෙම උපදෙස් අනුව එදා අපේ මුතුන් මිත්තන් කටයුතු කළා. ඒ නිසා තමයි ඔවුනට හොඳ දරු පරපුරක් ඇති කළ හැකි වූයේ. ගස්, ගල් පෙරළමින් මහ වැව්, දාගැබ් හදමින් කුඹුරු කොටමින් හේන් කොටමින් තම ජවසම්පන්න බවින් ජීවිතය සරුකර ගත්තෙ.
 
 කාන්තාවකගේ පියයුරු හොඳින් පූර්ණව වර්ධනය වන්නේ පුළුල් උකුලක් ඇති වන්නේ ඇයට දරුවන් දෙතුන් දෙනෙක් වැදීම සඳහා ශක්තිය තිබෙනවා නම් පමණයි.
 
 සිරුර පුරා හොඳින් රෝම කූප වැඩුණු පුළුල් උරහිසක් සහිත බාහු ඇති පිරිමියාට දරුවන් දහ පහළොවක් වුව හදන්න ශක්තිය තිබෙනවා.
 
 ඒ නිසා එදා විවාහයකදී පවා රූසපුව කෙරෙහි සැලකිලිමත් වුණා. පිරිමියකු තමුන්ගේ සිරුරේ ජවසම්පන්න බව පෙනෙන පරිදි හැඳ පැළඳගෙන තමයි, තමා විවාහ වන කාන්තාවගේ නිවසට ගියේ. කාන්තාවත් තමාගේ පිරිපුන් රූප සොබාව පෙනෙන පරිදි තමයි හැඩ වැඩ වී සිටියේ.
 
 වෛද්‍යතුමනි, මෙවැනි රූසපුවක් ඇති කර ගැනීමට වත්මන් පරපුර කළ යුත්තේ මොනවාද?
 
 පළමුව තමාගේ ශරීරයේ පැවැත්ම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. උදෑසන හයට පෙර අවදි වීම, රාති‍්‍ර දහයට පෙර නින්දට යෑම, අවදි වූ විගස පිරිසිදු වතුර වීදුරුවක් පානය කිරීම, ශරීරයේ ඉන්ද්‍රියයන්ගේ කි‍්‍රයාකාරිත්වය හොඳින් සිදුවීම සඳහා දහදිය දමන තුරු පැය භාගයක්වත් ව්‍යායාම හෝ සිරුර වෙහෙස වන කටයුත්තක නිරත වීම, දිනපතා ස්නානය කර සිරුර පවිත‍්‍රව තබා ගැනීම, පෝෂ්‍යදායී ආහාර පාන ගැනීම ආදිය තුළින් ජවසම්පන්න දේහයක් ඇති කරගත හැකියි.
 
 පෝෂ්‍යදායී ආහාර පාන අපට ඉතා පහසුවෙන් ලබාගත හැකියි. තල, මෙනේරි, මුංඇට, කවුපි ආදී ධාන්‍ය ආහාරයට ගැනීමෙන් සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ප‍්‍රමාණය ලැබෙනවා. බත්, අල, බතල වලින් පිෂ්ඨය ලැබෙනවා. මාළු, මස් වලින් අවශ්‍ය විටමින්, කැල්සියම් ලැබෙනවා. පිරිමියකුගේ ශුක‍්‍රාණු වර්ධනයට කාන්තාවකගේ ඩිම්බ නිපදවීමට ඉතා ගුණදායක ආහාරයක් ලෙස වැල සහ වරකා හඳුනාගෙන තිබෙනවා. ඒ අතර කොස්දළු, මැල්ලූමත් ඒ සමාන ගුණ දෙනවා.
 
ruwa2ලාවුළු, අලිගැටපේර, අනෝදා, නෙල්ලි, වෙරළු වැනි පලතුරු ආහාරයට ගැනීමෙන් සම පැහැපත් වෙනවා. සම වියළී යෑම, කොරපොතු ඇති වීම, දද කුෂ්ට මතු වීම නැති වෙනවා.
 
 හොඳින් උණු කර ගත් වතුර බේසමකට කහ, ගොඩපර, දෙහි, පිච්ච මල්, කොහොඹ මිශ‍්‍ර කර නිවෙන්නට තබා මඳ රස්නෙන් ස්නානය කිරීමෙන් හිස්හොරි ඇති වීම වළක්වා ගැනීම, හිසකෙස් අකලට ගැලවී යෑම නැති කර ගැනීම, උකුණන් බෝවීම වළක්වා ගැනීම කළහැකියි.
 
 ඒ නිසා අනවශ්‍ය ලෙස බාහිර ආලේපන සඳහා මුදල් වැය නොකර බාහිර සහ අභ්‍යන්තර නිරෝගී රූ සපුවක් ඇති කරගතහොත් එය තමයි පූර්ණ රූප සොබාවය කියන්නෙ. ඇඟ ඇතුළත සියලූ ඉන්ද්‍රියන් රෝගී කරගෙන ආලේප ගල්වා ඇති කර ගන්නා කෘති‍්‍රම රූප සොබාව ඇති අයට අතීතයේ මුතුන් මිත්තන් පැවසුවේ පඹයන් එහෙමත් නැත්නම් රූකඩ කියලා

More News »